Saturday, June 1, 2013

සංසාර චක්‍රය ඔබව තව තවත් කරකවනු ඇත!

මට මතක් වෙයි
එක්තරා සිලින්ඩරාකාර
කැටයම් රෝදයක්1
කරකැවිය හැකි බඳක්
උඩැක්කියක් වාගේම
අතේ තබා උස්ව පද්දා

යාඥා මන්ත්‍රයක් එහි මතුපිට අලවා-කරකැවිය හැකි
ඔබ වෙනුවෙන් යාඥාව දිගටම මතුරන අජීවී යන්ත්‍රයකි

ඔබ වෙනුවෙන් යාඥා කරන
අජීවී යන්ත්‍රයක්!

මට මතක් වෙයි
එක්තරා පිළිමයක්
කැටයමින් වැසී ගිය අනුරුවක්
නිසොල්මනේ සමාධිගත
දෑතේ නෙක සංඥා මවාගත්
බුදුවරයෙක් වාගේම

ඔබ වෙනුවෙන් ධ්‍යානගතව ඔබ වෙනුවෙන් භාවනානුයෝගීව
පාෂාණීභූතව දුක වළඳන
අව්වට වැස්සට නිරාවරිත ශෛලමය පිළිමයක්

ඔබ වෙනුවෙන් භාවනා කරන
අජීවී යන්ත්‍රයක්!

ඉතිං ඔබ නිදහස්
කළ හැකිය ඕන වරදක්!
විනාශයක්!!
සමූල ඝාතනයක්!!!

අර පිළිම
ඔබ වෙනුවෙන් හැමදාමත්
ධ්‍යාන වඩමින් සිටිනු ඇති...
ඒ පිළිම වටා රොද බැඳි
කෝකාලික2 වංශ බඹරුන්
නොයෙක සජ්ජායනා කරනු ඇති
තටු සලමින්
අජීවි යන්ත්‍ර සේ...

ජීවය ඉවත් කළ පසු
ජීවියා රසවත් ආහාරයක්-තවත් ජීවියෙකුට
විශ්වාසය ඉවත් වූ පසු
ඉතිරි වන
විශ්වාසය මරණීය ආයුධයක්-තවත් බැතිමතෙකුට3

01/06/2013

1. Tibetan prayer wheels; Zizek, Sublime Object of Ideology, p.31
2.  සීහ කොත්ථුක ජාතකයේ (545 වැනි ජාතකය) එන කෝකාලික මහණුන්.
3. Hegel's comment apropos Ancient Greece: "The statues are now only stones from which the living soul has flown, just as the hymns are words from which belief has gone"; Zizek, Sublime
Object of Ideology, p.X Preface

Friday, May 31, 2013

හේයි බුද්ධගයා-අජිත් කුමාරසිරිට සිංදුවක්

(අජිත් කුමාරසිරිට සිංදුවක්)

මම The බෞද්ධයා?

මම අලුත් කාර් එක අරං
කතරගම ගියේ
කාරෙකේ නොම්මරේ ගහක කොටල එන්නත් එක්කයි
කිරි වෙහෙරේ වටේ ගිහිං පඩුරු දැම්මෙ
ආරක්ෂාවටයි
රුපියල් දාහෙ පූජා වට්ටිය තිබ්බෙ
ඉන්ෂුවරන්ස්වලටත් වඩා දෙයියො ෂුවර් නිසයි
මම බුදුන් කිච කළේ-මගේ ආරක්ෂාවටමයි

ඕලෙවල් ලියන වුන්
විභාගෙට කලිං දවසේ
පංසලේ පෝලිමේ යැව්වෙ
පාඩම් කරපුවටත් වඩා
දෙයියො බුදුං ෂුවර් නිසයි
නමයි විභාග අංකෙයි ලියල බෝගහේ එල්ලුවේ
දෙයියන්ට වැරදුනත් කොම්පියුටර්වලට නොවරදින නිසයි
මම බුදුන් කිච කළේ-මගේ ආත්මලාභයටමයි

බඩ තඩි කිසිම සිල් ගතියක් නැති
අසපුවෙ සෙක්සි හාංදුරුවං ගෙදරට වඩම්මල
බත් ගිල්ලෙව්වේ
මගේම මැරිච්ච අම්ම අප්පා පෙරේතයො වෙල
මට අණවින කරයි කියල බයටමයි
කට්ටඩි පූසාරියොංටත් වඩා
බඩ තඩි හාංදුරුවෝ මළවුංට කිට්ටුයි-පිං දෙංඩ දස්සයි
දෙසූ බණ හරිම කාලෝචිතයි-කොට සාය ගැන කී ටික මනෝරම්‍යයි
මම බුදුන් කිච කළේ-මගේ පරාණ බයටමයි

........
........
........

මං මැරිච්ච වෙලේ
අහල ගං හතේ
හාංදුරු ටික වළ වටේ තියං
පාංසුකූලේ දුන්නේ
සංසාර චක්කරේ මං අතරමං වේවි කියලා
මගේ ගෑණි හිතු නිසයි
දවස් හතේ බණ දවසේ
වැලි අතුරලා බණ ශාලාවේ කොනේ
කවුරුත් බලං උන්නේ මම බණ අහන්න එයි කියලයි
මගේ පා සළකුණු වැලි මත ඇඳෙනවා බලා ගන්නයි
මම බුදුන් කිච කළේ-කිසිම ලැජ්ජාවක් නැතුවමයි!

........
........
........

හේයි බුද්ධගයා
අපි දැං හරක් මරන්නේ නෑ
අපි හරක් වෙනුවෙන් මැරෙනවා..!

(කෙටියෙන්
මේ කාලයේ
මට සංඝ රත්නය තේරෙන්නේ නෑ
බුදුන් දිගටම කිච වෙනවා-එච්චරයි මට තේරෙන්නේ...)

Monday, May 27, 2013

මරණය අමතකව

කාටවත් මතක ද
මා මිය ගිය හැටි?
අනේ
කවුරුවත් දුටුව ද
මා පණ නල
වා තලයට මුසුව ගිය හැටි?

නොදුටු අයගෙන් නොවිමසමි
දුටු අය
නොදුටු අයටත් වඩා
නොදුටු බැවින්
ඒ අය ද නොවිමසමි

මට අමතකය මා මිය ගිය බව
මට අතපසු වී ඇත
වැළලෙන්නට නියමිත තැන
කිසිවෙකුත් මට මතක් කර නොදෙන
ඒ අමතකව ගිය රමණීය මරණය

කවුරුන් විසින් සඟවාලන්න ද
කුමට සඟවාලන්නද
මගේ නිහඩ මරණය?
හඩක් නොමැතිවම මිය ගිය
මගේ නිහඩ මරණය
කන් බිහිරි කරවූ හඩ මැද

මා මගේ අමතකය නිසාවෙන්
ඔබ අතර තවමත් ගැවසෙමි
කරුණාකර
මට මතක් කර දෙන්න
මා මිය ගිය බව...

මා මෙන් නොව ඔබ
සදාකල් ජීවත් වනු ඇත

එනමුදු මා මළ මතකය
සදාකල් ජීවත් වන ඔබගේ
මරණය
අමතක වන සෑම මොහොතක
යලි යලිත් මතක් කරමින්
සැරිසරනු ඇත ඔබමොබ

ඔබට ද
සදාකාලික අමතකයකි
මගේ මරණය!