Saturday, October 9, 2010

සිතිවිලි ගංගාව මතුපිට නිසලය


සිතිවිලි ගංගාව මතුපිට නිසලය
වියතක් යටින් දිය සුළිය
දිය වැලය
නොපෙණේ චණ්ඩ ඒ සුළි
පය තැබූ කල දැන හෝ නොදැනි
අතොරක් නැතිව ගසා කරකවා කැඳවයි
අතීතකාමයේ
දිය මඩ ඇහිරු බිම්ගෙය වෙත

තබත් වරක් දිය පතුල මත පියවර
කෙතරම් ඉසියුම්වැ ගණන් කර
වටකර ගනියි නොස්ටැල්ජික දිය සෙවෙළ
ලුහුටා දමමින්
අතීත-අනගත -වත්මන බැඳුම්
ගිලිහෙයි සළුපටල සැණින්
වසා පැතිරුන රොමාන්තික සිහින
අත්කර ගනියි සිහින වල බුරුල් තැන්
වනසා ලයි ඉර ඉර සළු තූ තූ කර
මතු කර ජීවිත කලංකය

තැනෙක දිය ඝණවැ ගොස්
පෙඳ පාසිගත දැලි රැවුලු වවාගත්
නෙක ප්‍රශ්න මුවින ගත්
විප්ලවකාරී අවුල් හිස කෙස්
වැනිය දිය යට අඳුරු හරිත පෑ ඇතිරිලි

ගඟ දිය ශ්‍රමය නිසාවෙන් හැඩ ලද නෙක
බිත්තර හැඩැති තිරිවාන ගල්
හැපී පෙරලෙන දිය වැලේ අත
මිණි කැට සංකුල පාංශු භංගුර

විහඟ රූ මෙන් අහස පියා සැරි සැරි
වලිග වනා පිහිනා යන කුඩමසු සිතිවිලි
හැපී නොහැපී ගිලුනු බඳ ඔරු කඳ කැබැලිති
සිප යන මීන රැස ඇසේ වැදි වැදි වරල් පෙති පෙති

සිතිවිලි ගංගාව මතුපිට නිසලය
වියතක් යටින් දිය සුළිය- අවුලුවයි දිය ගිනි පුළිඟු
නොපෙණේ චණ්ඩ ඒ සුළි
පියවි ඇසින් සිහියෙන් නම් කිසි කලෙක දි

10/2010

නන්දන වීරසිංහගේ 'රැය කරා ගමන' ප්‍රශස්ත කාව්‍ය ග්‍රන්ථයක් නොවන්නේ ඇයි?


නන්දන වීරසිංහගේ 'රැය කරා ගමන' ප්‍රශස්ත කාව්‍ය ග්‍රන්ථයක් නොවන්නේ ඇයි?


කලකට පසුව නන්දන වීරසිංහ පළ කළ නවතම කාව්‍ය සංග්‍රහය මා අත පත්වූයේ නොහිම් සතුටේ ආලෝක දහරා මැද්දේය. නන්දන වීරසිංහ ගෙ කාව්‍ය භාවිතාව අතිශය වශයෙන් මා සිත පිරිමැද ඇතියෙන් මා රස විඳි සුභාවිත කාව්‍ය යනු නන්දන සුරතින් වැගිරෙන කාව්‍යමය තීන්ත උල්පතෙන් ගලා එන ඒ කවිදිය දහරේ එක්තරා වක්වූ ස්ථානයක උපන් සිඟිති ජලාශයක ගිලී ජලක්‍රීඩාවේ යෙදීමක් ලෙස මේ සතුටු අවස්ථාව මගේ සිතේ ඇඳෙයි.

කවිය යනු කිමැයි විවාදාභිමුඛ තරුණ පරම්පරාව හැරී බැලිය යුතු කවිකම් වෙතොත් ඒ අතර නන්දන වීරසිංහගේ කාව්‍යකරණය ශික්ෂාවෙන් පැහැදුල් ඉන්ද්‍රඛීලයක් මෙන් තැන්පත් ගතින් සැදී පැහැදී වැඩසිටින අරණක් සේ දිස් වනු නොඅනුමානය. මේ තේජාන්විත කවි අරණ්‍ය සේනාසනයේ ඇවිද ගොස් නිවුනු සිතින් මේ සටහන තබමි.

වන මැද ගමන

වන මැදින් පා ගමනින්
මයිල විසි තිස් ගණන් ගෙවුවෙමු
එහෙත් තව ගමනක් පමණි මේ
කවට මිතුරන් සමඟ සපැමිණි

බෑවුමෙක රහසේ පිපී ගිය
මල් මතෙහි විමතියක් යම් කිසි
තිබිණි දැයි විමසනු ව කල් නැති
ගමන් සගයන් නඟා හිස් රැවු
නොනැවැතී රැය කරා ගමනෙහි

උදා වාතලයෙහි පැතිර ගිය
නිහැඩියාවෙහි මත් ව හුන් කඳු
සොලවමින් හදිසියේ පැන නැඟි
සිනා කිකිණිය සොයා යන මෙන්
කල් අවසර කිසිත් නැති

දිගත දිග මනිනා වලාකුළු
වසත් උලෙළක් පවත්වන මුදු
නොදැන දිව යන පිරිස පසුපස
අනු ව යන්‍ නෙක් වීමි සැණෙකින

සහස් වස් ගෙවු වනස්පතියන්
තුඟු උදාරම් කයින් තවමත්
මේ ගැජුම් හෙණ අකුණු ඉවසන
මහා විමැසුම් මුද්‍රාවෙකින්
හිඳින විස්මය දකිනු කල් නැති

ගියත් එකඟව මඳක් පසුපස
තනි ව ගමනක් තිබේ මට යළි

'වන මැද ගමන' කාව්‍ය 'රැය කරා ගමන' කාව්‍ය සංග්‍රහයේ පළමුවැනි කවිය යි. මේ කව නන්දන ඉදිරිපත් කරන්නේ ඔහුගේම ජීවන වෘන්දය පිළිබඳ සර්වප්‍රකාර වූ දැක්ම යැයි මට සිතේ. එය මිනිස් දිවියේ ඇති ගුප්තමය ශුභාරංචිය හකුළා දවටා ‍අප වෙත ගෙන එන දිව්‍ය දූතයෙකු සේ විටෙක සිත තුළ දහසක් සිතුවිලි ජනිත කරයි. සකලවිධ ව්‍යාධියෙන් පරිපීඩිත සමාජ ව්‍යුහය තුළ අපගේ ගමන් සියල්ලේ අරුත එක මිටින් ගෙන විදහන කැපූ මිණක් සේ මට දැනෙයි. ජීවිතයේ මයිල විසිතිස් ගණනක් පැමිණ ඇති මේ සහෘදාත්මක ගමනේ තව යා යුතු ඉසව් මග හසර ගැන ඉංගිතයන් රැගත් මෙ කව අපව වෙනස් මානයක ඇති ලම්බක සමාන්තර මංපෙත් හි දෙපා යොමන්නට සිතැඟි පෙළඹ වන්නේ යැයි මට එහි ඇති කවි මං සළකුණු ඔස්සේ දැනෙයි. දැවැන්ත ප්‍රතිරූපධාරීන් තුඟු උදාරම් කයින් නැගී හිඳ යම් සේ කඳු පංතීන් ඉහළ අහස් කුස නැගි මේඝ ගර්ජනා හෙණ අකුණු ඉවසමින් සිටින සමාධි මුද්‍රාගත ජීවනය ම විස්මයක් ලෙස ගෙන තමන් තුළ වන ගමන ගවේෂණය ට යොමු වීමේ අධ්‍යාශය ‍මීටත් වඩා රසින් කිව හැකි භාෂා ව්‍යායාමයක් මා කවර දිනෙක යළි ලබන්න ද?

මහඟු නිධහනකින් මා ලද මිණක් මෙන් මේ කාව්‍ය සංග්‍රහය මාගේ හදවතේ මම පැළැඳ ගත්තෙමි.

එක කවියකින් ලොව ඝණදුරු නිවුයේ යැයි සිතුනෙන් දහසක් අනෙක් තරු සඳු පසුබා නොයන්නේ යම් සේද අනෙකුත් කවි පුංජයන් ගැන ආශ්වාදනක විඳුම් සටහන් ලිවීමෙන් මා දුබල ව වැහැර යනු ඇතැයි සිතෙන තරමට ඒවායේ කාව්‍ය සුපේශලත්වය මා පමණ ඉක්මවයි.

ඉතිං නන්දන වීරසිංහගේ රැය කරා ගමන ප්‍රශස්ත කාව්‍ය සංග්‍රහයක් නොවන්නේ ඇයිදැයි සිතීමේ ව්‍යායාමයෙන් මම සමුගනිමි.


නන්දන වීරසිංහගේ කවි මග සැතපුම් කණු

ගිං ‍ගඟේ විලාපය- 1984
කිරි සුවඳැති රාත්‍රිය- 1990 රාජ්‍ය සම්මාන
සත්‍යකාම නම් වෙමි- 1994 රාජ්‍ය සම්මාන
ගිරග- 1998 රාජ්‍ය සම්මාන, ස්වාධීන සාහිත්‍ය සම්මාන
මහත් සඳ පිණි බිඳෙක- 2002 රාජ්‍ය සම්මාන, විද්‍යෝදය සම්මාන
චන්ද්‍ර බිම්බ- 2005 ගොඩගේ සම්මාන, 2005 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානයේ ප්‍රශස්ත කෘති නි‍ර්දේශය.
සමස්ත කාව්‍ය නිර්මාණ කාර්යය වෙනුවෙන් 2000 වසරේ බුන්කා සම්මානය

Wednesday, October 6, 2010

රනින් රන් හදැත්තී-සුභද්‍රා ජයසුන්දර

සුභද්‍රා කවියක් නෙලා කවි පුදසුනේ තබා ගොස් ඇත.


උදෑසනම සංචාරක කුරුළු ඊමේලයන් ලගින මගේ කුඩා ගූගල් තිප්පලේ මේ කවි කිරිල්ලිය ලැගහුන්නෙන් ඇය මලක් සේ හෘදයාංගමව දෝතට වඩා මෙහි ගෙන ආවෙමි. සුවහසක් දනන් මන් තුළ සැරිසරන ආලයේ ප්‍රේමයේ නුරාවේ නටබුන් වංකගිරි මාළිගයේ පාළු කාමර සඳලුතලා උස් කුළුණු රහසිගත කාමර අස්සෙන් ඇවිද යන හුදෙකලා සිතැත්තී දකින මරණයේ ඇටසැකිලි සිය දිවි නසාගත් ප්‍රේමණීයයන්ගේ ගෙළ වැළ ලා ගත් අඳුරු කාමර මෙන්ම නුරාගී ඉඟිබිඟි වැකී ගොස් භූතාත්ම බවට පත්වූ සනාතන ප්‍රේම වස්තු අතරින් පෙරී ආ මේ කවි මකරන්දය මෙසේ ඔබ වෙත පාමි.


සුභද්‍රාගේ භද්‍ර වචන මෙසේ සතපා තබමි.

ඒ තුළ කාල වර්ණ ඡවි කළණියගේ තැවුල නිදි නොබිඳ ඒ සිහිනයේම රඳවා ඇවිද යන්නට ආරාධනා කරමි.


රනින් රන් හදැත්තී


























සුලු කළිඟු කුමාරිය
කතාවේ තරමටම රුවැත්තී
රන් රුවක රනට දිලිසුනා නම්
රන් හදක් නොවුනාද රුවැත්තී

පහන් පෑ රුවක් නැති සිඟන්නී
රැය පහන් වන තුරා
මං තනිව ජීවිතය යදින්නී

දරා නූපුර බරණ
අරා මුඳු මල් යහන
සිද්ද පත්තිනි දේව බිසව්නේ
විද්ද මල්සර දුන්න
හර්ද මස තුළ කිමිද
බින්ද සිල් කමා නොකෙරුව මැනේ

සිත පුරා පිං පිරූ කන්‍යාව
වත පුරා පෙම දැරූ ලීලාව
දිව්ර දිව්රා කීව බව සැබැයි
නොබලනා බව ඇහැක්
පිරිමි ඇහැකට ඇහැක්
නොසිතනා බව සිතක්
පිරිමි සිතකට සිතක්

ඇයිද මේ මල’සුනම පරවෙලා
නැද්ද රන් හදැත්තී ඉපදිලා

විනම් හද දව දවා
සඟව සඟවා දැවෙන ගින්දරා
පළිගසා කුමට මගෙ බිසව්නේ
කියන් මට නොසඟවා
හදන් මේ සිඟන සිත
වීද නුඹටත් රහස් බිසව්නේ


සුභද්‍රා ජයසුන්දර

Monday, October 4, 2010

රතු වළාවක්

මුහුදු වෙරළ අවලස්සන-කිපී රළ අනින උඩ පැන පැන
පෑරී ඇති කඩතොළු තැන තැන-ගුරු පැහැති අවක්ෂේප විසිරුන
ඛනිජමය වැලිතලාවක සටහන් වූ පියවර-අවපස එල්ලා හැලෙන මුදු සඳ
අහසේ වැටී පැලැස්තර
සඳ ඇබින්දක් සුවෙනි- හෙලයි දුක්බර කැළුම් අවසඟ
ඇවිද යමි
අතිනත ගෙන තුරුළු කර
සංකර ‍
කුරුළු තුඩු නද මධුර
ඇසෙයි තත් සුසර සුනු- වීණාවක් වැයෙන ලෙස

පොල් කටු අඟුරු අහස කෙළවර
හිරු තැලෙයි රක්ත තප්තව සැඳෑ කල
රතු වළාවක් උරා හිරු හෙලූ ඒ රුහිර
රතු පැලැස්තර ගහණ දුරුවල අහස් කුස

කොයින්ද එතරම් ඝණ පැහැසරය
අවරදිග පැතලි අහස මත පැතිරුන?

නවතිමි සුපුරුදු ගල් තලය මත
හැරී බලමි පසුකොට ආ දිගු දුර
අතිනත ගෙන පැමිණ ඇත තනිකම
මෙතෙක් දුර තනි නොකර මා හදවත

හිරු අවසන් සුසුම හෙලූ කල
දැනෙයි ගෙල වට බියකරු සිහිල
රූරා හැලෙයි රක්ත වර්ණිත ලේ දහර
ගෙල දෙපස; අහසින් පොලව මත වට...

10/2010